කොවිඩ් වෛරසයට එරෙහි සටනට රුපියල් මිලියන 457 ක ප්‍රදානයක්


ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් 19- මර්දන වැඩපිළිවෙළ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව යුරෝපා සංගමය (European Union) විසින් යුරෝ මිලියන 02 (රු.මිලියන 457)   ප්‍රදානයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත අද භාර දී තිබෙනවා.

යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චව්බි (Denis Chaibi) විසින් මෙම ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  වෙත භාර දුන් අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන එක්ව සිටියා.

කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කරන බැවින් හදිසි අවස්ථාවන්හිදී රෝහල් වල ඇතිවන අවශ්‍යතාවයන් සඳහා වෛද්‍ය උපකරණ මිලදී ගැනීම් ඇතුළු කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී රෝහල් වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙම අරමුදල් පරිහරණය කරන ලෙසට යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චව්බි විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගෙන් මෙහිදී ඉල්ලා සිටියා.